තවමත් සම්පූර්ණයෙන් අවසන් නොවූ නිදිමත සමඟින්, ඔහු උදේ පාන්දරින් ම අවදි වී කෑම කාමරයට එන විට, මේසය මත ඒ වන විටත් වර්ණවත් කඩදාසිවලින් ඔතා ඇති තෑගි ගොඩක් තිබුණි. කුඩා උපන් දින කාඩ් පත්, රන් හෝ රිදී සීනුවලට අමුණා ඇත. ඔහුගේ පියා සහ මව ඒ වන විටත් අවදි වී ඔහු එන තුරු බලා සිටියෝ ය. මේසය මත ඉටි පන්දම් හයක් දැල්වූ විචිත්‍රවත් උපන් දින කේක් එකක් විය. ඔහුගේ දෙමාපියන් ඒ අවට, මල් මාලා සහ බැලුන වලින් අලංකාර ලෙස සරසා තිබූ අතර, කුඩා පිරිමි ළමයා ඒ දැක ඇත්තටම පුදුම වුණි.

අවසානයේ සුදුසු ම කාලය උදා විය. උපන් දිනය සමරන දරුවා ට, ඔහු දැල්වූ ඉටි පන්දම් නිවා දැමීමට සහ රසවත් කේක් එකේ පළමු කෑල්ල කපා ගැනීමට අවසර ලැබුණි. එ් සමඟ ම ඔහුට දීප්තිමත් රතු සෙල්ලම් කාරයක්, තොප්පියක්, ලස්සන පාට කරන පින්තූර පොතක් සහ වර්ණවත් රස කැවිලි පිරවූ පිඟානක් ලැබුණි. ඔහු ඒ ගැන බොහෝ සතුටට පත් වූ නමුත්, තම දෙමාපියන් තමාට වටිනා සහ විශාල එකක් සේ හැඟෙන තෑග්ගක් ලබා නොදුන් බවට සිතෙහි කනස්සලු ස්වභාවයක් ඇති විය.
හදිසියේ ම ඔහුගේ මව ඔහුට මෙසේ පැවසුවා ය: “දැන්, මගේ චූටි පුතා, ඔබේ ඇස් වසා ගන්න! ඔයාට දෙන්න අපි ගාව තවත් තෑග්ගක් තියෙනවා. අපි විශ්වාස කරනවා ඔයා ඒකට ගොඩාක් ම සතුටු වේවි”
‘බෙනී’ ඉතා තදින් තම දෑතින් ඇස් දෙක ම මිරිකා ගනිමින් වසා ගත් අතර, ඔහු ඒවා නැවත විවෘත කරන විට, ඔහු ඉදිරිපිට බිම විශාල පාර්සලයක් විය. ඔහු පුදුමයට පත් වූ අතර ඔහු ප්‍රීතියෙන් කෑ ගැසුවේ ය. ඒ අතර දෙමාපියන්ගෙන් ආදර හාදු වැස්සක් ම ලබන්නට ඔහුට හැකි විය.
අනතුරු ව ඔහුගේ දෙමාපියෝ පාර්සලය පරීක්ෂා කර බැලීමට ඔහුට සහාය වූවෝය. එම පාර්සලය තුළ කුඩා පෙට්ටියක අමතර හොඳින් අසුරා තිබූ විදුලි දුම්රිය එන්ජිමක්, මගී පෙට්ටි පහක්, බොහෝ රේල් පීලි, ස්විච හතරක්, කුඩා දුම්රිය ස්ථානයක්, පාලමක්, මාර්ග සංඥා සහිත දුම්රිය හරස් මාර්ගයක් සහ ට්‍රාන්ස්ෆෝමරයක් අඩංගු විය.
බෙනී පරිස්සමෙන් ඇසුරුම් වලින් සියල්ල පිටතට ගෙන, ඔහුගේ කාමරයට ගොස් රේල් පීලි එකට තැබුවේය. අවසානයේ ට්‍රාන්ස්ෆෝමරයේ විදුලි රැහැන් දෙක ධාවන පථයට සම්බන්ධ කිරීමට ඔහුගේ පියා උදව් කළේය. දැන් අපට ආරම්භ කළ හැකියි!
මුල දී බෙනී දුම්රිය එන්ජිම පමණක් ධාවනය කිරීමට ඉඩ දුන්නේ ය. පසුව ඔහු එය නවතා සියලු ම දුම්රිය මගී පෙට්ටි එකට සම්බන්ධ කළේ ය. දුම්රිය සම්පූර්ණ වූ අතර ඉක්මනින් එය ඕවලාකාර හැඩැති දුම්රිය මාර්ග පද්ධතිය මත එක වටයක් ධාවනය විය. උපන් දින දරුවා ඉතා උද්යෝගිමත් විය. ඔහුගේ පියා දුම්රිය ස්ථානාධිපති ලෙස රඟපෑවේ ය.

හදිසියේ ම මහා හයියෙන් බුරමින් කුස්සිය දෙසින් දුවගෙන පැමිණි දිගු ලෝම සහිත ‘වින්ඩි’, රේල් පීලි මත ධාවනය වෙමින් තිබූ සෙල්ලම් දුම්රිය මත උද්යෝගිමත් ලෙස පතිත විය. බලු සුරතලා විසින් ඌගේ දැනුමේ හැටියට මෙය කදිම සෙල්ලම් බඩුවක් ලෙස තේරුම් ගත්තා විය හැකිය. දැන්, දුම්රිය පීලි පැනීමෙන් සම්පූර්ණයෙන් ම ඉවතට වැටී ඇත. දුම්රිය අනතුර දුටු ඒ අසල සිටි ආධාරකරුවන් වන මව සහ පියා බෙනී පසුපස දිව ගියහ.
“වින්ඩි, ඒක නවත්තන්න!” කියා කෝපාවිෂ්ට ව කෑ ගසමින්, බල්ලා තම කාමරයෙන් පිටතට යැවූ බෙනී නැවතත් දුම්රිය එන්ජිම සහ විසිරුණු මගී පෙට්ටි එකතු කළේ ය. වාසනාවකට මෙන් ඒවා ට කිසිවක් සිදුවී නැත. නමුත් දුම්රිය එන්ජිම විසි වී ගොස් ඔහුගේ ඇඳේ වැදී දුම්රිය රියදුරු සිටින ඉදිරිපස ප්‍රදේශයට තරමක් අලාභ හානි සිදුවී ඇත. ඊට අමතරව ජනේලයක් ද කැඩී ඇත. ඔහු අඬන්නට විය. ඔහු හඬා වැටෙන හඬ ඔහුගේ මවට ඇසුණු විට ඇය ඔහු වෙත ගොස් නැවත දරුවා සන්සුන් කළා ය.
“මගේ පැටියා දැන් අඬන්නෙ නැතිව දොයියන්න. අපි ඒක හෙට ආපහු සෙල්ලම් බඩු කඩේ අයියාට ගිහින් දෙමු. එයා සෙල්ලම් විදුලි දුම්රිය ගැන දැනුමක් තියෙන කෙනෙක්. අපිට පුලුවන් වේවි එයාට කියලා ඔයාගේ දුම්රිය අලුත්වැඩියා කරගන්න.” බෙනී තම මව බදා ගෙන දෑස් වසා ගැනීමෙන්, ඔහු විසින් යම් සහනදායී සිතුවිල්ලක් ඇති කර ගනු ලැබූ බවට දෙමාපියෝ සිතන්නට වූවෝ ය.
පසුව, බෙනී නින්දට යාමට පෙර, හානියට පත් සෙල්ලම් දුම්රිය එන්ජිම ඔහුගේ කුඩා ඇඳ අසල මේසය මත ඇති ලාම්පුවට යටින් තැබුවේ, ඔහුට අවශ්‍ය විටෙක එය දැක ගත හැකි වන පරිදි ය. ඔහු ඒ දෙස බොහෝ වේලාවක් බලා සිටියේ නින්ද ඔහු අභිබවා යාමට පෙර ය.
මධ්‍යම රාත්‍රියේ ඔහු හදිසියේ ම අවදි වූයේ අමුතු ශබ්දයකිනි. ඒත් කෝ මෙතන මේසය උඩින් තියපු දුම්රිය?
බෙනී නිදිමතේ ම ඇඳ අසල ලාම්පුවේ ස්විචය එබුවේ ය. ඔහුට තම දෑස් අදහා ගත නොහැකි වූ අතර ඔහු ඇත්තටම පුදුම වූයේ, මගී පෙට්ටි සහිත දුම්රිය එන්ජිම නිරුපද්‍රිත ව දුම්රිය පීලි මත පවතිනු දුටු විට ය.

කිසිවකුත් පණගන්වන්නේ නැතිව තනිය ම දුම්රිය ධාවනය විය. කවුද එහෙම කළේ? මෙය සිදු කළේ ඔහුගේ පියාද? කෙසේ නමුත් නිවසේ සෑම දෙයක් ම සන්සුන්ව හා නිශ්ශබ්දව තිබූ නිසා ඔහුගේ දෙමාපියන් දැනටමත් නිදාගෙන සිටින බව බෙනී දැන සිටියේ ය.
බෙනී තම දෙ ඇස් පිස දමමින් ඇඳෙන් බිමට ලිස්සා ගියේ ය. ඔහු දුම්රිය මාර්ගය ඉදිරිපිට සිට ගෙන ගමන් කරන දුම්රිය දෙස සමීප ව බලන විට, මැදිරියේ ජනේලය අසල වාඩි වී සිටින කුරුමිට්ටන් මෙන් කුඩා ජීවීන් සිටින බව නිරීක්ෂණය කලේ ය. ඔවුන් සියල්ලෝ ම රතු උල් තොප්පි පැළඳ සිටියෝ ය.
තවත් කුරුමිට්ටෝ පිරිසක් දුම්රිය ස්ථානයේ සිට ගෙන ඔහුට අත වනමින් සිටිය හ.
“ආයුබෝවන්! පුංචි බෙනී මහත්තයා” ඔවුන්ගෙන් එක් කෙනෙක් කෑගැසුවා.
“අපි දැක්කා ඔයාගේ සෙල්ලම් දුම්රිය කැඩිලා තියෙනවා. අපි ඒක ඇඳ අසල මේසයෙන් බිමට අරන් අලුත්වැඩියා කරලා නැවත පිළිවෙළට තැබුවා. අපි විශ්වාස කරනවා ඔයා ඒකෙන් ගොඩක් සතුටු වේවි කියලා. ඒත් ඔයා දන්නවා ඇති, අපට ඇත්තටම එ්ක පැදගෙන ටික දුරක් යන්න ආසයි. ඔයා ගොඩක් හොඳ ළමයෙක් නිසා ඒකට විරුද්ධ වෙන්නෙ නැති වේවි සහ අපිට උදවු කරයි කියලාත් හිතනවා.”
බෙනී සම්පූර්ණයෙන්ම විස්මයට පත් වූ අතර ඒ සමඟම පුදුමයෙන් ගොළු විය. කුරුමිට්ටන් ගැන සුරංගනා කතා වලින් අසා තිබුණත්, ඇත්ත වශයෙන් ම ඔවුන් ජීවත් ව සිටින බව ඔහු කිසි විටෙකත් විශ්වාස නොකළ නමුත් ඔහුගේ දෑස් පිස දමන්නේ නැත. එයට හේතුව වන්නේ, නැවත අවදි වන සිහිනයක සිටින බවට ඔහු විශ්වාස කළ බැවිනි.
දුම්රිය ඉදිරියට පැමිණ කුඩා දුම්රිය ස්ථානයේ නැවතූ විට, එම ස්ථානයේ බලා සිටි කුඩා කුරුමිණියෝ කිහිප දෙනෙක් ද එයට ගොඩ විය. ඔහු සමඟ කතා කරමින් සිටි කුරුමිට්ටා හදිසියේ ම විස්මයට පත් පිරිමි ළමයා වෙත අත දිගු කර මෙසේ ඇමතීය: “එන්න, බෙනී! මගේ අත අරගෙන අපිත් එක්ක සුරඟන දේශයට යන්න. එතන ලොකු සෙල්ලම් උද්‍යානයක් තියෙනවා. අපි එහි හොඳ කාලයක් ගත කරමු.”
මායාවකින් මෙන්, බෙනී එහි සිටි කුරුමිට්ටාගේ අතින් අල්ලා ගත් අතර, ඊළඟ මොහොතේ ඔහු එක්වර ම ඉතා කුඩා මිනිසෙක් බවට පත් විය. හදිසියේම විවෘත වූ කාමරයේ දොරෙන් පිට වූ දුම්රියේ අවසන් මගී පෙට්ටියේ ඔහු වාඩි වී සිටියේ ය.

“සුරඟන දේශය තියෙන්නෙ කොහේද? ඔයාල ආවේ එහේ ඉඳල ද?” බෙනී විමතියෙන් කුරුමිට්ටාගෙන් ඇසුවේය.
“ම්.. ම්… ඒක ඔයාට තේරෙන විදිහට කියන්න මමත් හරියට ම දන්නෙ නෑ. නමුත් මම හිතන්නේ ෆැන්ටසි දේශයේ. ඔව්, ඔව්, නිසැකව ම, සුරංගනා කතා වල තරම් ලස්සන සෙල්ලම් බඩු වෙන කොහේවත් නැති නිසා! ඔහුගේ රතු උල් තොප්පිය ඉහළට පහළට ඇදී ගියේය.
දුම්රියෙන් පිටත, භූ දර්ශනය තරමක් වෙනස් විය. එකවර ම දුම්රිය චොකලට් හා කැවිලි වලින් නිර්මාණය වූ කන්දක් වැනි ස්ථානයකට නැග ගෙන ගියේ ය. කඳු මුදුනේ සුදු සීනි කුඩු ඉස තිබුණා. අනතුරු ව විශාල චොක්ලට් ගස් සහ කුකීස් වලින් සාදන ලද නිවාස සහිත හරිත තැනිතලාවකට ගමන ගියේ ය. ලස්සන සුරංගනාවක් අහසේ රැඳුණු සුදු වලාකුළක් මත වාඩි වී, එහි සිදු වන දේ සතුටින් බලා සිටියා ය.
එතකොට ම දුම්රිය එකපාරටම නැවැත්තුවා, කුරුමිට්ටෝ ඔක්කොම එළියට පැන්නා.
“බෙනී, අපිත් එක්ක එන්න! දැන් අපි සෙල්ලම් කරන්න යමු! මොනා උනත් අපිට ගොඩක් සතුටු වෙන්න ඕනේ!” කුරුමිට්ටෝ රංචුව එක හඬින් කෑ ගැහුවා. වැඩි කල් නොගොස් ඔවුන් සෙල්ලම් උද්‍යානයට ළඟා වූවෝ ය. එහි බොහෝ දේ සිදුවෙමින් පැවතුණි. බෙනී මීට පෙර මෙවැනි සෙල්ලම් උයනක් දැක තිබුණේ නැත. මෙහි තිබූ සෙල්ලම් බඩු සියල්ල සැබෑ ඒවා මෙන් පෙණුනි. ඇවිදින, සිංදු කියනා බෝනික්කන්, කුරුමිට්ටන් විසින් පදවාගෙන යන සෙල්ලම් කාර් මෙන් ම පුළුන් විසිරේවි යැයි බියෙන් ඉඳිකටුවක් සොයමින් දිව යන ටෙඩියෙක් ද ඒ අතර විය.
කුරුමිට්ටන් විසින් විස්මයට පත් වූ පිරිමි ළමයා ඔවුන් සමඟ සෑම තැනකම රැගෙන යනු ලැබූහ. ඔවුන් ඔහු සමඟ කතුරු ඔංචිල්ලා පැද ගිය අතර, අවතාර එබිකම් කරන මායා දුම්රියේ ද යෑමට අමතක නොකළහ. ඒ අතරේ රස කැවිලි කෑවා, උණු කෝපි ඇතුළු රසවත් බීම වර්ගත් රස බැලීමට අමතක නොකළෝ ය. බෙනී ප්‍රීතියෙන් හා සතුටෙන් ඉපිලුණි. දෙමාපියන් නොසිටියා නම්, ඔහු සදහට ම සුරංගනා කතාවක රැඳී සිටීමට කැමති වනු ඇත.
යම් අවස්ථාවක දී එක් කුරුමිට්ටෙක් කෑගැසුවේය: “අපි හැමෝම ආපහු දුම්රියට නැඟලා යා යුතුයි. රාත්‍රිය ඉක්මනින් අවසන් වේවි. එළිය වැටෙන්නත් පටන් ගනීවි.”
දුම්රිය පොළ අසල මද වේලාවක් බලා සිටි සියලු කුරුමිට්ටන් සමඟ බෙනී ද දුම්රියට ගොඩ විය. ඔහු තම අසුනේ හිඳගත් විගස තද නින්දකට වැටුණි.
උදෑසන අවදි වන විට ඔහු තම ඇඳේ වැතිර සිටි අතර, වහාම රාත්‍රියේ දුටු සුන්දර සිහිනය නැවතත් මතක් කළේ ය. ඔහු ඇඳේ වැතිර සිටිමින් ම සිවිලිම දෙස බලා තමන් සුරඟන දේශයට රැගෙන ගිය කුරුමිට්ටන් ගැන සිතුවේය.
“ඒක හරිම සතුටු තැනක්. එයාල නම් ගොඩක් හොඳ යාලුවො පිරිසක්. ඒත් ඒ හැමදේම හීනයක් විතරයි” බෙනී තමන්ට ම කියා ගනිමින් ඇඳෙන් බැස්සේ ය.
එකපාරටම ඔහු පුදුමයට පත් කරමින් දුටුවේ, පෙරදා රාත්‍රියේ වින්ඩිගේ දඟකාරකම් නිසා කැඩී ගිය දුම්රිය එන්ජිම ඇඳ අසල ඇති මේසය මත තමා විසින් තැබූ ස්ථානයේ නොමැති බවත්, ඔහු පුදුමයට පත් කරමින්, රේල් පීලි මත නිරුපද්‍රිත ව පවතින බවයි. මැදිරි සියල්ලම එකට සම්බන්ධ කර ඇති අතර එය දුම්රිය නැවතුම්පොළ දෙසට සෙමින් ඇදී ගියේ ය.

බෙනී බිමට නැමී දුම්රිය දෙස හොඳින් බැලුවේ ය. නමුත් ඔහුගේ සිහිනයේ සිටි කුරුමිට්ටන් එහි සිටියේ නැත. මගී පෙට්ටි සියල්ල හිස් ව පැවතුණි. නමුත්, අන්තිම පෙට්ටියේ රඳවා තිබූ සුදු පැහැති කඩදාසි කැබැල්ලක මෙසේ ලියා තිබුණි.
“ ආදරණීය බෙනී,
සුරඟන දේශයට ගිය ඔබේ පුංචි චාරිකාවෙන් ඔබ සතුටට පත් වූ බව අපි බලාපොරොත්තු වෙමු. ඒ අනුව ඔබට සුවිශේෂි උපන්දින ත්‍යාගයක් ලබා දීමට අපි වාසනාවන්ත වුණා. ඉතින් අපි ඔබේ ලස්සන දුම්රිය එන්ජිම අලුත්වැඩියා කර නැවත පිළිවෙලට තැබුවා. අපි ඔයත් එක්ක සුරඟන දේශයට ගොස් සෙල්ලම් කරපු බවක් කවදාකවත් ඔයාගේ දෙමාපියන්ට කියන්න එපා. ඔවුන් ඔබව කෙසේවත් විශ්වාස කරන්නේ නැති වේවි. දුම්රිය එන්ජිම අලුත්වැඩියා කළේ කවුරුන්ද කියා ඔබ මෙන් ම ඔවුන් ද නිසැකවම පුදුමයට පත් වනු ඇති. ඔවුන්ට අනුමාන කිරීමට ඉඩ දෙන්න! කෙසේ වුණත් ටික දවසක් යද්දි සමහරවිට ඔබටත් ඉක්මනින් ම මේ ගැන අමතක වෙලා යාවි. මේ විදිහට ම අපි දරුවන් වෙත පැමිණෙන්නේ බොහෝ විට සිතිවිල්ලෙන් සහ සිහිනයෙන් පමණයි. ඔබේ සෙල්ලම් දුම්රිය පරිහරණය කිරීමට ලබා දී අප වෙත දැක්වූ කාරුණික බව අපි ඉතාම අගය කරනවා. එය ජීවිත කාලය පුරා ඔබේ වටිනා ධනයක් ලෙස සුරක්ෂිත කරගනු ඇතැයි විශ්වාස කරනවා. අපි අනිවාර්යයෙන්ම නැවත හමුවෙමු.”
මේ සුබ පැතීම
සුරඟන දේශයේ ඔබේ හිතවත් කුරුමිට්ටෝ











